Tuesday, 13 June 2017

මිහිතලයේ යළි ඉපදීම...



1995 නොවැම්බර් මස 27 වන දින එළිදැක්වුණු මිහිතල ගීතය ලොව සුවිශේෂී කලාකරුවකුගේ අපූර්ව නිර්මාණයක් . අදටත්  කතාබහට ලක්වන මේ මිහිතල ගීතයේ නිර්මාණකරු හිපොප් රජු ලෙසින් ලොවම හඳුනාගත් මයිකල් ජැක්සන් නම් කලාකරුවාය. ඔහුගේ History Past , Present and Future Book ගීත ඇල්බමයේ තුන්වන ඒකල ගීතය මේ මිහිතල ගීතයයි. සත්ත්ව සංවේදීතාවය ප්‍රමුඛ කරගෙන ජෙනසිස් සම්මානයත් 1995 දී ඩොරිස් ඩේ මියුසික් සම්මානයත් 1995 හොඳම රූප රචනයට හිමි සම්මානයත් මේ නිර්මාණයට හිමිව තිබෙනවා.

මිහිතලය විනාශවීම හා එහි යළි ඉපදීම මූලික කොටගෙන මේ රූප රචනය සිදුකර තිබෙන අතර දෙවියන්ට කන්නලව් කිරීමත් යුද්ධයෙන් සිදුවන විනාශය, වන විනාශය හා සතුන්ට සිදුවන හානිය පෙන්වා දෙමින් රසිකයාට සිතන්නට යමක් ඉතිරි කරනවා. එමෙන්ම  මේ නිර්මාණය හරහා පරිසර ගැටළු ගණනාවක්ද පෙන්වා දෙනවා.

මේ නිර්මාණය තුළ රූපමය භාෂාව දක්නට ලැබෙන්නේ වඩාත් ප්‍රබල ආකාරයෙන් . මෙයට තෝරාගෙන ඇත්තේ භූගෝලීය වශයෙන් එකිනෙකට වෙනස් ප්‍රදේශ හතරක්. විශේෂ නිර්මාණ උපක්‍රම යොදාගෙන කාලය ආපස්සට ගෙන යමින් මිනිස්  ජීවිත යළි ඉපදීම , යුද්ධය අවසන් කිරීම හා වනාන්තර නැවත හට ගැනීම වැනි දර්ශන මෙහි වඩාත් ප්‍රභලයි. රූප රචනය තුළ භාවාත්මක සමීප රූප භාවිත කර ඇති බව දක්නට ලැබෙනවා. හරිත පැහැ සොබාදහම කඨෝර පරිසරයට හුවමාරු වීම ආදී දර්ශන මඟින් රසික හදවතට ආමන්ත්‍රණය කරන්නේ ඉතා සියුම්වය. රූප රචනය තුළ නළු නිළි රංගනයක් නොමැති අතර සාමාන්‍ය ප්‍රදේශ වැසියන්ව යොදා ගැනීමද මෙහි විශේෂත්වයකි.


මෙම රූප රචනයේ ගීතාත්මක භාෂාවේ ප්‍රබලත්වය විමසා බලන විට බ්ලූ සංගීතය, ඔපෙරායි සහ පොප් සංගීතයද මුසු වී ඇති බව හඳුනාගත හැකියි. එසේම යොදාගෙන ඇති ස්වර රටාව සරලය.
මෙයින් නිරූපණය කෙරෙන්නේ මිනිසා ඇතුළු සියලු සතුන් , ගහකොළ , අහස පොළව යන සියළුම භෞතික හා අභෞතික ප්‍රපංචයන් මෙන්ම මිනිසාගේ ආධ්‍යාත්මික පසුබිම නිරුපණය කරමින් මුලු ලෝකයටම පොදු වූ මානව සංස්කෘතියකි. ඒ අනුව මයිකල් ජැක්සන් නම් විශිෂ්ඨ කලාකරුවාගේ මිහිතල ගීතය(Earth Song) රූපයෙහි සහ ශබ්දයේ භාවාත්මක මුසුවෙන් රසික හදවත් පැහැර ගැනීමට සමත් සාර්ථක රූප රචනයක් ලෙස හඳුනාගත හැකිය.

මධුෂානි දයාරත්න

4 comments:

  1. සංගිතය විටෙක ජිවිතය විය ව්ටෙක ජිවිතේ නවාතැනද විය

    ReplyDelete

කුරුමාණම් පැංචා

                               ඡායාරූපය - මධූෂානි දයාරත්න