Wednesday, 28 June 2017

තීරණය උඹේ අතේ.






















උඹට දුන් කාලය
අහවරයි....
එහෙං මෙහෙං දැමූ සෙල්ලම්
අහවරයි....
රැගෙන යන්නට යමක්
ඉතිරි කරගත්තානම්
එච්චරයි....
දෙව්ලොවද?
මනුලොවද?
නිරයද?
එය උඹේ
ඉරණමයි....



මධුෂානි දයාරත්න

Friday, 23 June 2017

නැති වෙන විළි බිය..



විළිබිය නොහඳුනන යුගයක සිට විළි වසා ගැනීමට මිනිසා තබපු පියවර සාර්ථක වනුයේ ඇඳුම මඟිනි.  ඇඳුම් ආරම්භයේදී එයට නිසි අරුතක් පැවති නමුත් ක්‍රම ක්‍රමයෙන් මේ ඇඳුම විවිධ විපර්යාසයන්ට ලක්වෙනවා. උත්සවයකට, පන්සලට, නෑදෑ ගමනකට,මළ ගෙදරට , මඟුල් ගෙදරට ආදී වශයෙන් විවිධ අවස්ථාවන්ට අනුකූලව විවිධාකාරයේ ඇඳුම් අඳින ආකාරයක් ලෝකයේ දක්නට ලැබෙනවා. අපේ රටේද අපට උරුම සංස්කෘතියට අනුකූලව ඇඳුම් භාවිතය මුල් කාලයේදී සිදු වූ නමුත් අදවන විට මෙය වෙනස් වන්නේ වෙනස්වන නවමු සංස්කෘතිය සමඟිනි.

රෙදි අඩුවෙන් අඳින සුද්දාගේ ඇඳුමෙහි පටලැවුණු අප ඇඳුම් ලෝකයක අතරමංවනුයේ ඇඳුමෙහි අරුත අමතක කර දමමින්. ඇඳුමෙන් වසාගත යුතු තැන් නොවසා සිටින්නටත් සංවරකම පසෙකලා විලාසිතා පෙන්වන්නටත් අපේ ඇත්තන් පෙළඹෙනුයේ ගෝලීයකරණය නම් සුපිරි වාණිජ ගැටයට සිරවීම නිසයි.

පිටරැටියන් නිරුවත පෙන්වන විටදී අපද අඟලෙන් අඟල නිරුවත ප්‍රදර්ශනයට ඉඩ සකසා ගනු ලබනවා. ලැජ්ජාව පසෙකලා අලෙවිකරණය නම් ප්‍රෝඩාවට පහසුවෙන්ම හසුව සිටින්නේ සිංහලයා. මෙහිදී කාන්තාව ප්‍රමුඛ වන අතර ඇගේ නිරුවත වෙළඳ භාණ්ඩයක් බවට පත්ව තිබෙනවා. කෙසේ නමුත් කාන්තාවට මෙයින් පීඩා විඳින්නට සිදුව ඇති බව නම් රහසක් නොවේ. කය පෙනෙන්නට ඇඳුම් අන්දන මේ විපරීත සංස්කෘතිය නිසා හය හතර නොදන්නා ළමා ලෝකයේ සිට මහලු විය දක්වා සියල්ලන්ට අද අර්බුද රැසකට මුහුණ දීමට සිදුවෙලා. ඒ අනුව දිනෙන් දින ඉහළ යන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වැනි හිංසනයන්ටද මේ ඇඳුම් විලාසිතාවන් හේතුවක් වී ඇති බවට හඳුනා ගැනෙනවා.

විළි බිය සිඳීගිය වත්මන් සමාජය ඇඳුම් ඇඳීම වෙනුවට සිදු කරනුයේ එහෙන් මෙහෙන් රෙදි කෑලි එල්ලා ගැනීමයි. මංගල උත්සව, වෙනත් සාදයන්, කානිවල් හා ක්ලබ් වැනි ඔද්දල් සංස්කෘතික රටාවන් නිසා ගිලිහී යන ඇඳුම දෙස බලන විට සැබැවින්ම ලෝකයේ රෙදි නිෂ්පාදනයේ හිඟයක් ඇති වී තිබෙනවාද යන සිතුවිල්ල ඇති කරනවා.

ගල් යුගයෙන් මිදෙන මානවයා ක්‍රමයෙන් ශිෂ්ටසම්පන්න භාවයට පත්  වනුයේ ඇඳුම සමඟිනි. නමුත් වර්තමානය වන විට තත්ත්වය යළිත් වෙනසට ලක් වෙමින් පවතී . මිනිසා යළිත් වරක් ආපස්සට පරිණාමය වනවාද යන්න සැක සහිතය. තිරිසනුන්ගෙන් වෙන්ව ඇඳුම් ඇඳ විළි වසාගත් මිනිසා අද තමන්ගේ අඟ පසඟ මුළු ලෝකයටම පෙන්වීමට දරනුයේ මහත් වෑයමකි. මීට සියවස් ගනනාවකට පෙර ශිෂ්ට සම්පන්න වූ මිනිසාත් තිරිසනාත් අතර වර්තමානයේ දී ලොකු වෙනසක් පවතින්නේද යන්න පිළිබළඳ ව දෙවරක් සිතා බලන්නට සිදුව තිබේ.




මධුෂානි දයාරත්න



Wednesday, 21 June 2017

අරුම පුදුම බෝනිකි වන්දනාව


මිනිසා තම ජීවිතය තුළ ආධ්‍යාත්මික බලවේගයන්ට මුල් තැනක් ලබාදෙයි. ඒ අනුව උපතේ සිට මරණය දක්වාම සිදුවන සියලු භෞතික හා අභෞතික කාරණා මිනිසා අදෘශ්‍යමාන බලයන්ට බාර කරයි. මේ සියල්ල සමඟ බැඳුණු  වත් පිළිවෙත් ගනණාවක් ලෝකයේ විවිධ ජන කණ්ඩායම් අතර හඳුනාගන්නට ලැබෙන අතර බොහොමයක් දේවල් වඩාත් සුවිශේෂී අන්දමින් හඳුනාගත හැකියි. මේ කතාව එවන් සුවිශේෂී වන්දනා ක්‍රමයක් ගැනයි.

තායිලන්තයේ බැංකොක් නුවරට බටහිරින් පිහිටි ස්වැන්ග් ඇරොම් විහාරයේ සිදු කෙරෙන බෝනික්කන් හට වන්දනා කිරීමේ ක්‍රමය තවත් සුවිශේෂී වන්දනයක් බවට පත්ව තිබේ. මේ විහාරයේ බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා තිබුණත් බැතිමතුන් වැඩිපුරම පුද පූජා පවත්වනුයේ වෙනත් පිරිසකටයි. ඒ පෞරාණික ඇඳුම් පැළඳුම්වලින් සැරසුණු බෝනික්කන්ටය. මේ බෝනික්කන් කුඩා දරුවන් සෙල්ලම් කිරීමට ගන්නා බෝනික්කන් නොවේ. නූපන් දරුවන්ගේ ආත්ම ජීවත්වන දේවදූතයන් මේ බෝනික්කන් තුළ සිටින බව ඔවුන්ගේ පිළිගැනීමයි.

නමුත් මෙබඳු කෘත්‍රිම භාණ්ඩයක් තුළ දේවදූතයෙකුට සිටිය හැකිද ? තායිලන්ත වැසියන්ගේ බෝනික්කන් පිළිබඳ විශ්වාසය පිටරැටියන්ට මෙසේ ගැටලු මතු කරයි. තායිලන්ත වැසියන්ගේ නිවෙස් තුළ අවුරුදු 4-5 ක කුඩා දරුවකුගේ පෙනුමැති බෝනික්කෙකු වාඩිකරවා සිටියි. නිවැසියන් මේ බෝනික්කන් ජීවය ඇත්තවුන් මෙන් සලකා පුද සත්කාර කරන අතර ආහාර පාන යනාදියද පූජා කරන්නට පෙළඹ තිබේ. මේ පූජාවන් නිසා තම ජීවිතයට සෞභාග්‍ය උදාවන බව තායිලන්ත වැසියන්ගේ විශ්වාසයයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම වන්දනයට තායිලන්ත ජනයා පෙළඹී ඇති බවට පිළිගැනේ. කෙසේ නමුත් අද වන විට මේ අපූරු දේවදූත බෝනික්කන් තායිලන්තයේ හොඳ ආදායම් මාර්ගයක් බවට පත්ව ඇති බවද නොරහසකි.

මධුෂානි දයාරත්න

Thursday, 15 June 2017

අමුතු විවාහය...




          එදා මෙන් නොව අද ලෝකය කරකැවෙනුයේ වෙනත් අතකටය. සියල්ල කණපිට පෙරැලී ඇත. මේ කතාවද එලෙසින් කණපිට පෙරළුණු සුවිශේෂී දෙයක් ගැනයි. එනම් විවාහයයි. විවාහය ගැන අප නොයෙක් කතා අසා ඇත්තෙමු. නමුත් දැන් දැන් අසන්නට ලැබෙන්නේ අමුතුම ආකාරයේ විවාහයන් ගැනයි. 

ඒ අතරින් ළමා විවාහ කෙරෙහි මුළු මහත් ලෝකයක් කතාබහ කරයි. Save the Children සංවිධානයේ නවතම පර්යේෂණයන්ට අනුව සෑම තත්පර 7කට වරක්ම වයස අවුරුදු 15ට අඩු ගැහැනු දරුවන්ගේ විවාහයක් සිදුවන බව සොයාගෙන තිබේ.

මේ ආකාරයට ළමා විවාහ බොහොමයක් ආසියානු සහ අප්‍රිකානු රටවල සිදුවන බව හඳුනාගෙන තිබේ. ඒ අනුව ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව සහ යේමනය වැනි රටවල මෙලෙස වයස අවුරුදු 15ට අඩු ගැහැනු දරුවන් බලහත්කාරයෙන් වයසින් වැඩි පිරිමින් හට විවාහ කරදෙන බව හෙලිදරව් වී ඇත. මෙම ළමා විවාහහේතුවෙන් ලොව පුරා බොහෝ රටවල ගැහැනු දරුවන් මිලියන ගණනින් අනාථ වන බව සරල යථාර්තයයි. ඇතැම් දුගී දුප්පත් පවුල්වල දෙමාපියන් තම ගැහැනු දරුවන් බලහත්කාරයෙන් වයසින් වැඩි පිරිමින් හට විවාහ කර දෙන්නේ ජීවන වියදම අඩු කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. නමුත් මෙය යුක්ති සහගත නොවන්නකි.

කාන්තාවකගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් ලෙසින් විවාහ දිවිය හඳුනාගත හැකියි. නමුත් කුඩා දැරිවියන් හරිහැටි ජීවිතයේ අරුතවත් නොදැන කුඩා වයසේදීම විවාහයට මුහුණදීම දරුණු ඛේදවාචකයකි. ලෝකය ජාත්‍යන්තර ගැහැනු ළමුන්ගේ දිනය සමරයි. නමුත් මෙවැනි දූෂිත ක්‍රියාවලි හෙළා දකින්නට ලෝකය මැලි වෙයි. 


හෙට ලොව පූදින්නට වෙර දරන පුංචි මල් කැකුළු දරුණු බඹරුන් විසින් තලා පෙලා දමනු ලබයි. මේ අසම්මත ලෝකය තුළ සිදුවන මෙබඳු අකටයුතුකම් දෙස ලෝකයා සාධාරණ ආකාරයකින් දකින්නට යම් මැලිකමක් දක්වනවා විය හැකියි. නමුත් ලෝකයාට මේ උමතු බවින් මිදෙන්නට නොහැකි වුවහොත් හෙට දිනයේ තවත් සිඟිති දියණියක ලොවට බිහි නොවනු ඇත.

මධුෂානි දයාරත්න

කුරුමාණම් පැංචා

                               ඡායාරූපය - මධූෂානි දයාරත්න