Saturday, 29 July 2017

සියපතක වරුණ





සියපතක පෙති අතර සැඟවුණු
රහස මම සෙව්වා..
පුංචි පිණිබිඳු සැඟවිලා එහි
අගය නිම් නැතුවා..
මතුව ගිලිහුණු මලක් යැයි නුඹ
ඔහේ පා කෙරුවා..
නෙලාගත් මල බුදුන් පාමුල
මම පුද කෙරුවා..
බොහෝ පිං ඇති මලක් ලෙසකට
දිවිය නිම කෙරුවා..

පුංචි කැකුළක් ඉවුර අද්දර
හොඳින් මං හැදුනා..
මඩේ පිපිලා මඩෙන් එළියට
සුපිරිපුන් වූවා..
හිරුගේ ශක්තිය
මවගේ රුධිරය
හොඳින් ගැබ් වූවා..

පුරා අටවක
විලස පෙර දින
වතුර රැළි නැඟුනා..
සිනිදු දෑතින් නටුව හනිකට
දෙකඩ වෙනු පෙනුනා..
ගෙවා ආ සංසාරෙ මඟ අද
නිමයි මට සිතුනා..

 




Thursday, 20 July 2017

ස්මාර්ට් ෆෝන් ෆොටෝග්‍රැෆි




වර්තමානය වන විට ඡායාරූප කලාව ගතානුගතිකත්වෙයන් මිදිලා. ස්මාර්ට් ෆෝන් ඡායාරූප සඳහා සම්මාන හිමිවන තරමට එය කලාවක් වශයෙන් ලොව ප්‍රචලිත වෙලා. ඒ නිසාම ස්මාර්ට් ෆෝන් එකෙන් සෙල්ෆි ගහන කලාවට වඩා එහා ගිය අපූරු කලාවක් ගැන අදහසක් මේ ලිපියෙන් දිග හැරෙනවා.

මේ වනවිට ලොව පුරා වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය , විලාසිතා , විවාහ ඇතුළු විශේෂ උත්සව අවස්ථා ආවරණය කිරීමට වෘත්තීය මට්ටමේ ඡායාරූප ශිල්පීන් පවා ස්මාර්ට් ෆෝන් භාවිත කරනවා. ඒ සඳහාම වෙන්වුණු සුවිශේෂ ඇප්ස් පවා හඳුන්වා දී තිබෙනවා.
 
අද වන විට බොහෝ දෙනෙක් ළඟ  ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා . බොහෝ දෙනෙක් මේ ස්මාර්ට් ෆෝන් එකෙන් පින්තූර ලබා ගන්නවා. ඉතින් ස්මාර්ට් ෆෝන් එකෙන් පින්තූර ගන්නා විට කැමරාවේ settings ගැන සැලකිලිමත් වීම වැදගත්. බොහෝමයක් ස්මාර්ට් ෆෝන්වල කැමරා settings ගැන youtube එකෙන්ද  තොරතුරු ලබාගන්නට පුළුවන්. පින්තූර ලබාගෙන settings හරහා apply කරන දේවල් පින්තූරයට සිදු කරන බලපෑම පිළිබඳව අවබෝධයක් අපිට තියෙන්නට ඕන. 


ස්මාර්ට් ෆෝන් එකටම ආවේණික වූ විවිධ කැමරා කෝණවලින් රූප රාමුගත කළ හැකියි. නිර්මාණශීලී කැමරා කෝණවලට අප හුරු වීම වැදගත්. දණහිසින් හිඳගෙන , බිම දිගා වෙලා, ඉණිමඟක නැගලා , ගහකට නැගල වගේ විවිධ කෝණවලින් රූප රාමුගත කිරීම සිදු කල හැකියි.එමෙන්ම විවිධ වර්ණ සංකලනයන් ද රූප රාමුවට එක් කිරීමට පුළුවන්.  කැඩපත, වීදුරු කණ්ණාඩි , ජලය පිරුණු කුඩා වලවල් , දිලිසෙන මතුපිට සහිත තැන් අලංකාර රූප මවනවා. 



 සොබාදහම පින්තාරු කරන්නේ ආලෝකයෙන්. එනිසා ආලෝකයෙන් විවිධ රූප මැවෙනවා. ඒ අපූරු අවස්ථා අපට කැමරාවට හසු කර ගන්නට පුළුවන්. ඉතින් තමන් ළඟ තියෙන ස්මාර්ට් ෆෝන්එක භාවිත කරල දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වෙන්න අපට පුළුවන්. වැදගත් වන්නේ අප සතුව තිබෙන නිර්මාණශීලීත්වයයි.




කුරුමාණම් පැංචා

                               ඡායාරූපය - මධූෂානි දයාරත්න